ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ සාමාන්‍ය නීතිය යටතේ මිස හදිසි නීතිය යටතේ නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, රජය හදිසි නීතිය අවභාවිත නොකරන බව අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශයට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කළේ, අදාළ හිමිවරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි නීති රෙගුලාසි යටතේ බවයි. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ඕනෑම අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ පවතින සාමාන්‍ය අපරාධ නීතියට අනුකූලව බවයි.














