ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු භාවිතයෙන් තොර “කාසි රහිත” ආර්ථිකයක් (Cashless Economy) කරා මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේදී අද (19) පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ මූල්‍ය පද්ධතිය නවීකරණය කිරීම සහ දූෂණය අවම කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය පියවරක් වන බවයි.
මෙම සාකච්ඡාවේදී 2025 වසරේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල සාර්ථකත්වය මෙන්ම 2026 අයවැය යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත නව වැඩපිළිවෙළ රැසක් පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR කේත හරහා ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ජාතික මට්ටමේ ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ දිවයින පුරා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලබාදීම යන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය. මීට අමතරව, මහජනතාවට මහත් පහසුවක් වන ඩිජිටල් හැඳුනුම්පත ලබාදීමේ ව්‍යාපෘතිය සහ රථවාහන දඩ මුදල් ඩිජිටල් ක්‍රමයට ගෙවීමේ පද්ධතිය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දැනට පවතින අවිධිමත් මූල්‍ය ගනුදෙනු විධිමත් ලෙස ලේඛනගත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත යුතු ආකාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකා සර්ට් (CERT), විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දත්ත ආරක්ෂණ අධිකාරිය වැනි ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ‘GovTech’ ආයතනය හරහා නව බඳවා ගැනීම් සිදු කරමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට අවශ්‍ය මානව සම්පත සපයා ගැනීමටත් මෙහිදී තීරණය විය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














