ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන්ට සහ විවිධ පුද්ගලයන්ට අපහසුතාවයට පත්වන අයුරින් වීඩියෝ කරමින් අපරාධමය හිරිහැර සිදුකිරීමේ චෝදනා මත 45 හැවිරිදි මොහොමඩ් අස්කර් මොහොමඩ්-රසික් (Mohamed Askar Mohamed-Razik) නමැති ශ්‍රී ලාංකික ‘Influencer’ වරයෙකු ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු කැනඩාව පුරා විවිධ පුද්ගලයන් වෙත ගොස් ඔවුන්ව අපහසුතාවයට පත් කරමින් එම දර්ශන සමාජ මාධ්‍ය සඳහා පටිගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටි අයෙකි.
2025 ජුනි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මොහු විසින් සිදුකරන ලද විවිධ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ටොරොන්ටෝ පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එහිදී කාන්තාවන් පටිගත කිරීම, ටී.ටී.සී (TTC) සේවකයෙකුගේ ජාතිවාදී පසුබිම ඉලක්ක කරමින් හිරිහැර කිරීම සහ රාජකාරියේ නිරත පොලිස් නිලධාරිනියකට ඇයගේ පෙනුම සම්බන්ධයෙන් අහිතකර අදහස් පළකරමින් හිරිහැර කිරීම වැනි චෝදනා හතරක් මොහුට එරෙහිව ගොනු කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, මොහුගෙන් හිරිහැරයට පත් තවත් වින්දිතයන් සිටිය හැකි බවට පොලිසිය සැක පළ කරයි.














