රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ලබන සතියේදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඉන්දියානු සංචාරය නිමාකර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණීමෙන් අනතුරුව සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් දිනයක් හා වේලාවක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගොස් එම ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමිනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පුළුල් විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කැබිනට් ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, ටිරාන් අලස්, නලීන් ප්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර යන 18 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉකුත් දා දන්වා සිටියා ය.
ඖෂධ 182ක් හිඟ බව සහ ඖෂධ 17ක් ශූන්‍ය බව ව්‍යාජ අයුරින් සඳහන් කරමින්ද, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහාද 2022 සැප්තැම්බර් 26 වැනිදා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ බවත්, ඊට අනුමැතිය දුන් එම කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නාය.
ඒ අනුව අදාළ කැබිනට් මණ්ඩලයේ බහුතරයකින් ප්‍රශ්න කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.