කොරියානු රැකියා වීසා ලබාදීමේ සිද්ධියකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (19) ඉල්ලා අස්කරගනු ලැබීය.
එස්. තුරෙයිරාජා මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය. මනුෂ නානායක්කාර මහතාව මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බැවින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගනු ලැබීය.














