ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන දුෂ්කර ආර්ථික තත්ත්වය ඉතා ඉක්මනින් මඟහරවාගෙන දකුණු කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව කොරියානු නියෝජ්‍ය කතානායක ලී හැක් යන්ග් (Lee Hack Young) මහතා විශ්වාසය පළ කරයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමු වූ අවස්ථාවේදී ඔහු පෙන්වා දුන්නේ කොරියාව ද අතීතයේ මෙවැනිම අසීරු කාල පරිච්ඡේද පසු කර ඇති බවයි. කොරියාවේ ආර්ථිකයට මෙරට ශ්‍රමිකයන් ලබා දෙන ප්‍රශංසනීය දායකත්වය වෙනුවෙන් ද ඔහු මෙහිදී සිය ස්තූතිය පිරිනැමීය.
මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ, මෙරට සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට විශාල අවස්ථාවක් පවතින බවයි. ලාංකික ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ඉන්දියාව ඇතුළු අසල්වැසි වෙළෙඳපොළවල් වෙත අපනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කෙරිණි.














