කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ඓතිහාසික දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් අද (08) දිනත් එම විහාරස්ථානයට පැමිණ සිටියහ. මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා පෙබරවාරි 05 වැනිදා සිට 11 වැනිදා දක්වා මහජන ගෞරවය පිණිස විවෘතව පවතින අතර, බැතිමතුන්ට මෙම දුර්ලභ අවස්ථාව උදාකර දෙමින් සතිය පුරා විශේෂ ආගමික වතාවත් සහ ආශිර්වාද පූජාවන් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.
ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ ආරක්ෂක සහ ප්‍රවාහන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. දිවයිනේ නන්දෙසින් පැමිණෙන ජනතාවගෙන් ගංගාරාම පුදබිම පිරී පවතින අතර, සන්ධ්‍යා කාලයේදී පැවැත්වෙන විශේෂ පූජාවන් සඳහා ද විශාල සහභාගීත්වයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.














