ගෝලීය දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර හටගෙන ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට අවුන්සයක් ඩොලර් 4,800 සීමාව පසුකර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට දරන උත්සාහය සහ ඒ සම්බන්ධයෙන් යුරෝපා රටවල් මත දැඩි තීරුබදු පැනවීමට තර්ජනය කිරීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.
අද (21) උදෑසන වන විට රන් මිල 1.2%කින් ඉහළ ගොස් අවුන්සයක් ඩොලර් 4,821.26ක් ලෙස සටහන් වූ අතර, දිනයේ එක් අවස්ථාවකදී එය ඩොලර් 4,843.67ක උපරිම අගයක් වාර්තා කළේය.
ට්‍රම්ප් පාලනය විසින් යුරෝපීය රටවල් මත පීඩනය යෙදීම සහ නේටෝ (NATO) සංවිධානය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයෝජකයින් ඇමරිකානු ඩොලරය සහ බැඳුම්කර කෙරෙහි තැබූ විශ්වාසය අඩුවීම මෙලෙස රන් වැනි ආරක්ෂිත ආයෝජන (Safe-haven assets) වෙත යොමු වීමට හේතු වී තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ යුරෝපය කිසිදු තර්ජනයකට හිස නොනමන බවයි. මෙම භූ දේශපාලනික ගැටුම් මධ්‍යයේ රන් මිල ඉහළ යද්දී, රිදී මිල ද වාර්තාගත මට්ටම් කරා ළඟා වී ඇති අතර ප්ලැටිනම් සහ පැලේඩියම් මිල ගණන්වල ද සැලකිය යුතු උච්චාවචනයන් දක්නට ලැබුණි. ලබන සතියේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යම බැංකු (Federal Reserve) රැස්වීමේදී පොලී අනුපාත සම්බන්ධයෙන් ගන්නා තීරණය ද රන් මිලෙහි ඉදිරි ගමන්මඟ කෙරෙහි තීරණාත්මක වනු ඇත.














