දින ගණනාවක් ඇඟිලි ගැන ගැන බලා සිටි ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ගිය ගමන මාරකයක් වී අවසන් ගමන් ගිය 20 හැවිරිදි ක්‍රිෂානි නවින්ද්‍යා කුමාරිගේ දේහය පසුගියදා මිහිදන් කෙරුණේ මුළු අයගමම කඳුළින් නහවමිනි. ගුවන් හමුදාවට බැඳී රටට සේවය කිරීමටත්, කුරුඳු තළන පියාට සහ දළු නෙළන මවට ශක්තියක් වීමටත් ඇය මැවූ සිහින සියල්ල කිරිඇල්ලේදී සිදුවූ මාරක රිය අනතුරින් සුණු විසුණු වී ගියේය.
පවුලේ “දෙවෙනි” දියණිය වූ ක්‍රිෂානි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවුලේත්, ගමේත් ශක්තිය වූ බව ඇගේ ඥාති සොයුරිය වන තුෂානි හඬමින් පවසන්නීය. ගෑනු ළමයෙකු වුවද ඕනෑම අභියෝගයකට නිර්භීතව මුහුණ දුන්, සතුන්ට පවා දයානුකම්පාව දැක්වූ ඇය බාලදක්ෂ කණ්ඩායමේ සහ දහම් පාසලේ ද කැපී පෙනෙන චරිතයක් විය. අනතුර සිදුවූ දින තමා පදිංචිව සිටි අයගම සිට ඉංගිරිය දක්වා ගිය එම අවසන් ගමනට පෙර ඇය දැක්වූ උනන්දුව සිහිපත් කරමින් ඥාතීන් පවසන්නේ, දෛවය මෙතරම් කුරිරු වනු ඇතැයි තමන් සිහිනයකින්වත් නොසිතූ බවයි.
අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි ඥාතීන්ගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින නමුත්, පවුලේ සිනහව වූ “දෙවෙනි” ගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බව සියල්ලෝම පවසති. රියදුරෙකුගේ එක් තත්පරයක අතපසුවීමකින් හෝ නොසැලකිල්ලකින් තවත් දියණියකගේ ලස්සන අනාගතයක් මග මරුවාට බිලි වූයේ මුළු රටටම රිය අනතුරු පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් සහ වේදනාවක් ඉතිරි කරමිනි.














