ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නුවර කාර්යබහුල වෙළඳ කලාපයකදී වෘකයෙකු විසින් 65 හැවිරිදි කාන්තාවකට පහර දී සපා කා ඇති බව වාර්තා වේ. 1998 වසරේ සිට ජර්මනියට වෘකයන් නැවත පැමිණීමෙන් පසු, එරටදී මිනිසෙකුට එල්ල වූ පළමු වෘක ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
පසුගිය සඳුදා සවස් කාලයේ හැම්බර්ග් නගර මධ්‍යයට බටහිරින් පිහිටි ඇල්ටෝනා (Altona) දුම්රිය ස්ථානය අසලදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, තුවාල ලැබූ කාන්තාව වහාම රෝහල් ගත කර ඇත. ‘බිල්ඩ්’ (Bild) පුවත්පත වාර්තා කරන පරිදි ඇයගේ මුහුණේ තුවාල පවතින නමුත්, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ප්‍රහාරයෙන් පසු නගරයේ විවිධ ස්ථානවල වෘකයා සැරිසරන බවට ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිසිය, පසුව නගර මධ්‍යයේ පිහිටි බින්නෙනල්ස්ටර් (Binnenalster) විලෙහි සිටි සත්වයා සොයාගෙන බේරා ගැනීමට කටයුතු කර තිබේ. යුරෝපා සංගමයේ රටවල් රැසක වෘක ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, 2023 වසර වන විට ඔවුන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව දත්ත පෙන්වා දෙයි.














