ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Air Lanka), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම් විකිණීමට පසුගිය රජය ගෙන තිබූ තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙම ආයතන විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියයි මෙම දැනුම් දීම සිදු කළේ.
අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණා. අදාළ පෙත්සම මඟින් පසුගිය රජයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.














