ඩුබායි ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් එල්ල වූ තර්ජන මැඩපැවැත්වීමේදී විනාශ වූ මිසයිල සහ ඩ්‍රෝන කොටස් (Debris) දකුණු ඩුබායි ප්‍රදේශයේ පදිංචි නිවාස කිහිපයක් මතට පතිත වීමෙන් දේපළ හානි සිදුව ඇති බව බලධාරීන් තහවුරු කරයි. මෙම සිදුවීමෙන් ආසියානු ජාතිකයින් සිව්දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, නගරය පුරා ඇසුණු ප්‍රබල ශබ්ද මෙම ආරක්ෂක මෙහෙයුම්වලට සම්බන්ධ බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.
ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ‘Al Salmi’ නමැති කුවේට් තෙල් නැවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ වහාම පියවර ගෙන ඇත. මීට අමතරව ඩුබායි හි අල් බඩා (Al Badaa) ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක් මතට මිසයිල කොටස් පතිත වීමෙන් ගින්නක් හටගෙන ඇති අතර, එහිදී ද පුද්ගලයින් සිව්දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. සාජා (Sharjah) ප්‍රදේශයේ පිහිටි තුරායා (Thuraya) සන්නිවේදන සමාගම් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් ද සාර්ථකව මැඩපැවැත්වීමට බලධාරීන් සමත් විය.
පවතින තත්ත්වය පාලනය කර ඇති බැවින් පදිංචිකරුවන්ට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, නිල පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී. පතිත වී ඇති සුන්බුන් හෝ කොටස් ඇල්ලීමෙන් වළකින ලෙසත්, ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.














