ජීවිතය සමහර වෙලාවට හරිම අකාරුණිකයි. අපමණ සෙනෙහසින් දෝතට ගත් ජීවිතයක්, එකම එක නිමේෂයක අතපසුවීමකින් දෑතින් ගිලිහී යනු දැකීම තරම් වේදනාවක් මෙලොව තවත් තිබේද? අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයෙන් ඇසෙන්නේ මුළු රටේම දෑසට කඳුළු උනන එවැනිම අවාසනාවන්ත කතාවකි.
පසුගිය 6 වැනිදා උදෑසන, රාත්‍රී මුළුල්ලේ වැඩ කර විඩාබරව නිවසට පැමිණි ඒ පියාගේ කන්වලට ඇසෙන්නේ තම මාස දෙකහමාරක් වයසැති සිඟිති දියණිය රුසේලිගේ හැඬුම් හඬයි. ගතේ තෙහෙට්ටුවට වඩා දියණියගේ හැඬුම ඔහුට රිදුම් දුන්නේය. පිය සෙනෙහසින් පිරුණු ඒ හදවත, විඩාව පසෙක ලා දියණිය දෝතට ගත්තේ ඇයව නළවා සනසන්නටය. පුටුවක වාඩි වී දියණිය නළවමින් සිටි ඔහු, පසුව නැගී සිටිමින් ඇයව වඩාගෙන එහා මෙහා ඇවිදින්නට වූයේ ඇයගේ මුවට සිනහවක් ගෙන එන්නට විය යුතුය.
නමුත්, රුදුරු දෛවය ඒ පිය සෙනෙහස අසලම සැඟවී සිටියේය. නිදි නොලබා වැඩ කළ විඩාව ඔහුටත් නොදැනීම දෑස් පියවන්නට විය. එකම එක තත්පරයකට ඔහුට නින්ද ගියේය. ඒ අවාසනාවන්ත මොහොතේ, පියෙකුගේ ලෝකයම බඳු වූ ඒ පුංචි දියණිය දෑතින් ගිලිහී ගොස් සිමෙන්ති පොළොව මත පතිත වූයේ පියෙකුගේ හදවත සදහටම පලමිනි.
තිගැස්සී අවදි වූ පියා දුටුවේ සියල්ල සිදු වී හමාර බවයි. පණ නැති වී, ඇස් පියවෙන සිය දියණිය රෝහල්ගත කළත්, දින තුනක මරණය සමඟ සටනකින් පසු පුංචි රුසේලි මේ ලෝකයට සමු දුන්නාය. මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇයගේ පුංචි මොළයට සිදු වූ තදබල හානියයි. පණ මෙන් ආදරය කළ දියණිය සදහටම නිදාගන්නා විට, ඒ පියාට ඉතිරි වූයේ තමන්ගේම නොසැලකිල්ල ගැන හඬා වැටෙන හදවතක් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමේ ඉරණම පමණි.
පියෙකුගේ දෑතේ සැනසෙන්නට ආ දියණියක, පියෙකුගේම අතින් ගිලිහී මරු වැළඳගත් මේ ශෝකාන්තය, අපට කියා දෙන්නේ ජීවිතයේ සමහර අතපසුවීම්වලට සමාවක් නැති බවත්, ඒ පසුතැවීම ජීවිත කාලයටම උරුම වන බවත්ය.














