පෙබරවාරි 05 – ජාතික පාසල්වල සේවය කරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල දරුවන්ට එම පාසල්වලටම ඇතුළත් වීමට තිබූ වරප්‍රසාදය අහිමි කිරීමට එරෙහිව අද (05) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ විය. ‘ජාතික පාසල් ගුරු දරු එකමුතුව’ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ගුරුවරුන්, අනධ්‍යයන සේවකයින් සහ ඔවුන්ගේ දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ ජාතික පාසල්වල වසර 3ක සේවය සම්පූර්ණ කළ සේවකයින්ගේ දරුවන්ට එම පාසල්වලටම ඇතුළත් වීමට මෙතෙක් පැවති අවස්ථාව, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව 2025 වසරේ සිට අත්හිටුවා ඇති බවයි. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඔවුහු පවසති. තම ගැටලුවට කඩිනම් ලිඛිත විසඳුමක් ලැබෙන තෙක් විරෝධතාව අත්නොහරින බව විරෝධතාකරුවෝ අවධාරණය කරති.













