හම්බන්තොට සිට කිලිනොච්චිය බලා සිමෙන්ති කොට්ට 500ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, තිරප්පනේ ඥානික්කුලම් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව තිරප්පනේ පොලිසිය පවසයි. පසුගිය 07 වැනිදා උදෑසන සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවී ඇති අතර, බිම ඇද වැටුණු සිමෙන්ති කොට්ට සියල්ලම පාහේ පිපිරී විනාශ වී තිබේ. අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්වී විසිරී තිබූ සිමෙන්ති කුඩු විවිධ මළු සහ බඳුන්වලට පුරවා එකතු කරගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු පමණක් ලොරි රථයේ සිට ඇති අතර, සුළු තුවාල ලැබූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ඊයේ (08) පිටව ගොස් තිබේ. දීර්ඝ ගමනක් යන අතරතුර ලොරි රථයේ සහායකයෙකු නොමැති වීමත්, රියදුරුට අධික වෙහෙස නිසා නින්ද යෑමත් මෙම අනතුරට හේතුව වන්නට ඇති බව තිරප්පනේ පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














