කළගෙඩිහේන, තිහාරිය ප්‍රදේශයේ නිවසක රහසිගතව ගබඩා කර තිබූ රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තීරුබදු රහිත විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනීමට යක්කල පොලිසිය සමත් වී තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී විදේශයක නිෂ්පාදිත දුම්වැටි එක් ලක්ෂ විසි හය දහසක් (126,000) අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි සැකකරුවෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ යක්කල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාමේන්ද්‍ර ලක්ෂ්මන් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි තොගය රේගු ආඥා පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර යක්කල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














