‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ප්‍රදානය කිරීම සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (06) මහනුවර සංචාරයක නිරත වීමට නියමිතය. කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පූර්ණ නිවාස හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර ඇති අතර, එහි පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක චෙක්පත් ප්‍රදානය හෙට සිදු කෙරේ. මීට අමතරව, හානි වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා සෑම ව්‍යාපාරිකයෙකුටම රුපියල් ලක්ෂ 02 බැගින් වූ මූල්‍ය ආධාර ලබා දීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
අපදාවෙන් අවතැන් වූ සහ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබා දීම හෙට පස්වරුවේ නියංගොඩදී සිදු කිරීමට නියමිතය. මෙම සහන සේවා වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කිරීමට ද නියමිතව ඇත. ඒ අනුව මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ මෙතෙක් නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ යළි ආරම්භ වනු ඇත.












