ශ්‍රී ලංකාව තුළ දැනට HIV ඒඩ්ස් ආසාදිතයින් 4,771ක් ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට අමතරව සිෆිලීස් රෝගීන් 1,469ක් සහ හර්පීස් රෝගීන් 2,891 දෙනෙකු ද රජයේ සායනික ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටින බව අමාත්‍යවරයා අනාවරණ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලිංගාශ්‍රිත රෝග මර්දනය සඳහා දිවයින පුරා සායන 41ක් ක්‍රියාත්මක වන අතර, ඒඩ්ස් රෝගය වැළැක්වීම සඳහා ලබාදෙන ඖෂධ මේ වන විට ප්‍රමාණවත් පරිදි පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය. අදාළ ඖෂධ පෙති 36,421ක් දැනට ගබඩා සතුව පවතින අතර එය ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.














