දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම වැළැක්වීම සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින්, අබලි ලෝහ අපනයනය තහනම් කිරීමට අදාළ නීතිමය විධිවිධාන පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, පිත්තල සහ චීනච්චට්ටි වැනි අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් සහ සින්ක් කුට්ටි අපනයනය මීට පෙරද අත්හිටුවා තිබුණි. එහෙත් ඇතැම් පාර්ශවයන් විවිධ වර්ගීකරණ සංකේතාංක (HS Codes) අවභාවිත කරමින් ව්‍යාජ ලෙස අබලි ලෝහ අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ලෝහ අමුද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වී ඇති බව රජය නිරීක්ෂණය කර තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නව නීතිමය රෙගුලාසි පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ හරහා දේශීයව සපයාගත හැකි අබලි ලෝහ ප්‍රමාණය මෙරට කර්මාන්තකරුවන්ටම ලබාදීමටත්, එමඟින් නිෂ්පාදන පිරිවැය අවම කර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.














