කුණුකොල්ලයට වී ගන්න ගේමක්
ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (20දා) ‘දිවයින’ට පැවසීය.
එම මෝල්හිමියන් මෙම කුමන්ත්‍රණය සෑම වර්ෂයකම ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී දියත් කරන බව ද එහි අරමුණ නාඩු සහල් හිඟයක් මවාපෑම තුළින් සහල් ආනයනය කිරීමට රජය පොලඹවා ගැනීම බව ද තෙන්නකෝන් මහතා කීවේය. එසේ සහල් ආනයනය කිරීම තුළින්, ලබන දෙසැම්බර් මාසය වනවිට නෙළීම ආරම්භ කරන මාස් කන්නයේ අස්වැන්න කුණුකොල්ලයට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මෙම මෝල්හිමියන්ට අවස්ථාව ලැබෙන බව ද අනුරාධ තෙන්නකෝන් මහතා කීවේය.
පැවැති සෑම රජයක්ම හසුවූ මෝල්හිමියන්ගේ මෙම කූට උපායට නව රජය ද හසුවී ඇති බව සහල් මෙටි්රක් ටොන් 70,000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් සනාථ වන බව ද ඒ මහතා කීවේය.
“පසුගිය වර්ෂයේ වී මෙටි්රක් ටොන් ලක්ෂ 46ක් රට තුළ නිෂ්පාදනය වුණා. ඉන් සියයට 75ක්ම නාඩු සහල්. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙටි්රක් ටොන් 26ක් පමණයි. එහෙමනම් ඉතිරි සහල් ටිකට මොකද වුණේ. පාරිභෝගික අධිකාරිය බොරුවට ගිහිල්ලා මහා පරිමාණ සහල් ගබඩා පරීක්ෂා කරනවා. නමුත් මේ අස්වැන්න සහල් බවට පත් නොකර වී විදියට තවමත් ගබඩා කර තිබෙන බවට සැකයක් අපට තිබෙනවා.
අපි පැහැදිලිවම කියනවා එක්තරා මධ්‍යම පරිමාණයේ වී මෝල්හිමියෙක් නාඩු වී කිලෝ ලක්ෂ 18ක් තවමත් ගබඩා කරගෙන සිටිනවා කියා. පාරිභෝගික අධිකාරියට මම අභියෝග කරනවා, එන්න මමත් එක්ක මෙම වී මෝල් පරීක්ෂා කරන්න යන්න. මම පෙන්වන්නම් වී සඟවාගෙන සිටින ආකාරය.
තවමත් මහා පරිමාණ වී මෝල්හිමියන් සහල් බවට පත් කරන්නේ මීට අවුරුදු 2කට හෝ 3කට පෙර ලබාගත් වී අස්වැන්නයි. එහෙමනම් කොහොමද රටේ නාඩු සහල් හිඟයක් ඇති වන්නේ. රජයට පුළුවන්කමක් ලැබිලා නැහැ රටේ සමස්ත වී සංචිතය කොච්චරක් ද කියලා හොයාගන්න.