වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස මෙටි්රක් ටොන් 70,000ක උපරිමයකට යටත්ව නාඩු සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඊයේ පැවසීය.
වෙළෙඳ අමාත්‍යාංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒකාබද්ධව ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ද, ඒ අනුව සතොස හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් මෙම සහල් තොග ආනයනය කරන බව ද හෙතෙම ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ලංකාවේ පරිභෝජනයට වඩාත්ම උචිත ස්වර්ණ නාඩු නමැති සහල් ආනයනය කරන බවත් මෙම සහල් දෙසැම්බර් මස 15 වැනිදා වනවිට කිලෝව රුපියල් 220ක උපරිමයකට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවන බවත් හෙතෙම කියා සිටියේය.
සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය කන්න දෙකේ වී මෙටි්රක් ටොන් මිලියන 4.8ක් නිෂ්පාදනය කර ඇති බව ද ඉන් මෙටි්රක් ටොන් මිලියන 3.1ක් නාඩු වී බව ද එම නාඩු වී, සහල් බවට පත් කිරීමේදී මෙටි්රක් ටොන් මිලියන 2.1ක් වෙළෙඳපොළට පැමිණිය යුතු බව ද ඇමැතිවරයා කීය. එම ප්‍රමාණය අනුව මසකට මෙටි්රක් ටොන් 183,000ක් පරිභෝජනයට වෙන්වන නමුත් මාසිකව පරිභෝජනයට අවශ්‍ය වන්නේ මෙටි්රක් ටොන් 140,000ක් බව ද හෙතෙම කීය. ඉන් පැහැදිලිවම මාසයකට මෙටි්රක් ටොන් 40,000ක පමණ අතිරික්තයක් ද පැවතිය යුතු නමුත් එවැන්නක් නොමැති බව ද හෙතෙම කීය.
දැනට තිබෙන සංඛ්‍යාලේඛන පිළිබඳව බරපතළ ප්‍රශ්න පවතින බව ද තාවකාලික අර්බුදයට විසඳුම් දෙන අතරේම සංඛ්‍යාලේඛනවල නිරවiතාව හා සඟවා ඇති සහල් තොග පිළිබඳව සොයා බලන බව ද ඉදිරි මහ කන්නයට කිසිදු බලපෑමක් සහල් ආනයනය මගින් සිදුවීමට ඉඩ නොතබන බව ද ඔහු කීය. මහ කන්නයේ සිට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ නිවැරැදි දත්ත සහිතව නිවැරැදි ක්‍රමවේදයක් සහිතව සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද, කිසිවකුට ජාවාරම් කිරීමට ඉඩ නොතබන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
තවදුරටත් සහල් තොග සඟවාගෙන පාරිභෝගිකයන් පීඩාවට පත් කර අයුතු ලාභ ලැබීමට කිසිවකුට ඉඩ ලබානොදෙන බව ද ඔහු කියා සිටියේය.