ශ්‍රී ලංකාවේ පළතුරු වවුලන් ඇසුරින් 2018 සහ 2019 වසරවලදී කොළඹින් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී ‘නිපා’ (Nipah) වෛරසය මෙරට පවතින බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනාවරණය කරයි.
bioRxiv විද්‍යාත්මක පත්‍රිකාවක පළවූ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, එදා හමු වූ මෙම වෛරසය දැනටත් වවුලන් අතර පවතින බවට උපකල්පනය කළ හැකි බවයි.
නිපා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ මතු වීමට සාමාන්‍යයෙන් දින 4ත් 14ත් අතර කාලයක් ගතවන බව මහාචාර්යවරිය සඳහන් කළාය. සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම භයානක වෛරසය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත් බව විද්වතුන් පෙන්වා දෙති.
වවුලන් විසින් කා දමන ලද පළතුරු පරිභෝජනයෙන් වැළකී සිටීම සහ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම මගින් මෙම අවදානම අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.












