ඉන්දියාවේ කොල්කටා නගරයට ප්‍රහාර එල්ල කරන බවට පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khwaja Asif) කළ තර්ජනයට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (අප්‍රේල් 07) ඉතා දැඩි අනතුරු ඇඟවීමක් සමඟ පිළිතුරු ලබා දී තිබේ. බටහිර බෙංගාලයේ පැවැත්වෙන මැතිවරණ රැලියක් අමතමින් රාජ්නාත් සිං පවසා සිටියේ පකිස්ථානය එවැනි උත්සාහයක් දැරුවහොත් මෙවර එම රට කැබලි කීයකට කැඩී යනු ඇත්දැයි දෙවියන් පමණක් දන්නා බවයි.
පසුගිය සෙනසුරාදා පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව කිසියම් හෝ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් (False flag operation) දියත් කිරීමට උත්සාහ කළහොත් තම රට විසින් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රධාන නගරය වන කොල්කටා වෙත ප්‍රහාර එල්ල කරන බවයි. මෙම ප්‍රකාශය ඉන්දීය රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර මීට වසර 55 කට පෙර එනම් 1971 වසරේදී පකිස්ථානය දෙකඩ වී බංග්ලාදේශය බිහිවූ ආකාරය අමතක නොකරන ලෙස රාජ්නාත් සිං එහිදී මතක් කර දුන්නේය.
ඉන්දියාවේ අසල්වැසි රටවල් කිසිදු අත්තනෝමතික ක්‍රියාවක නිරත නොවිය යුතු බවට රාජ්නාත් සිං මීට පෙර කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙස පකිස්ථානය මෙම තර්ජනය එල්ල කර තිබුණි. කෙසේ වෙතත්, බෙංගාලය දෙස ඇස යොමු කිරීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ වුවහොත් 1971 ට වඩා දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවන බවත් පවසමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය ස්ථාවරය යළිත් අවධාරණය කළේය.















