පෙබරවාරි 06 – ඇම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ දැනට නතර කර ඇති කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ (05) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසු ඇති වූ පාරිසරික හා ආරක්ෂක ගැටලු හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය මීට පෙර පියවර ගෙන තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතිය මගින් පරිසරයට හානියක් සිදු නොවන බව තහවුරු වුවහොත් එය නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි. හෙක්ටයාර 95ක භූමි ප්‍රමාණයක් මැනුම් කටයුතු කිරීම සම්බන්ධයෙන් 2021 වසරේ සිට පවතින ගැටලුවක් හේතුවෙන් සංවර්ධන කටයුතු ප්‍රමුඛ පෙළේ අභියෝගයකට ලක්ව ඇති බව ද මෙහිදී අනාවරණය විය. රජයේ මැදිහත් වීම ආයෝජනයට බාධා කිරීමක් නොව, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම සහතික කිරීමක් බවත්, මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සංචාරයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ, කේබල් කාර් ව්‍යාපෘතිය හේතුවෙන් නායයෑම් සිදුවන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර සත්‍ය නොවන බවයි. කේබල් කාර් පද්ධතියේ යටිතල පහසුකම් පොළොව හා සම්බන්ධ වන්නේ ස්ථාන තුනකදී පමණක් බවත්, ‘ඩිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී අවට කඳු නාය ගියද ඇම්බුළුවාව කන්ද ස්ථාවරව පැවති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම සංචාරක මධ්‍යස්ථානය මගින් මෑතකදී රුපියල් මිලියන 280ක වාර්ෂික ආදායමක් උපයා තිබූ බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.














