පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකා රජය දක්වන නොපැකිල සහයෝගය අගය කරමින් පලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විදේශ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ. විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද මෙම නිල ආරාධනය පලස්තීන රජයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකාව පෙනී සිටීම සහ දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන ස්ථාවරය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය තානාපතිවරයා අමාත්‍යවරයා වෙත පිරිනැමීය. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














