ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ‘ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව 2026′ (Sri Lanka Business Forum 2026) පසුගියදා පැරිස් නුවරදී සාර්ථකව පවත්වනු ලැබීය. ප්‍රංශ ව්‍යාපාරික සම්මේලනය (MEDEF International) සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සහභාගී විය.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, මෙරට ආයෝජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ඛනිජ පනත සංශෝධනය, කොළඹ වරාය නගර නීතිමය රාමුව සකස් කිරීම සහ ආයෝජන සඳහා ‘ඒකල කවුළු’ (Single Window) ක්‍රමවේදය හඳුන්වා දීමට රජය සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ පවතින උපායමාර්ගික පිහිටීම ආයෝජකයින්ට මහඟු අවස්ථාවක් බවත්, ප්‍රංශ සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා විවෘතව පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුවේදී Orange Marine සමාගම කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය සමඟ පවතින සාර්ථක සහයෝගීතාව පිළිබඳ අදහස් දැක්වූ අතර, Michelin, Carrefour සහ SNCF වැනි ලොව සුප්‍රකට ප්‍රංශ සමාගම් ද ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ. එසේම, ලබන ජූනි මස කොළඹදී පැවැත්වෙන ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙස ද මෙහිදී ප්‍රංශ ව්‍යාපාරිකයින්ට ආරාධනා කෙරිණි.














