කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) දහවල් ප්‍රබල අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද දහවල් 12:00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන්ම සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට සවස 1:00 න් පසුව මෙම තත්ත්වය බලපෑ හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.














