හෙට (07) ආරම්භ වන 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඉන්දු – පකිස්ථාන තරගය සඳහා තම කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කර තිබේ. ඊයේ (05) මුම්බායි හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ ඉන්දියාව පකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, කොළඹ බලා පැමිණීම සඳහා වන ගුවන් ගමන් පවා මේ වන විට වෙන් කර ඇති බවත්ය.
කෙසේ වෙතත්, පකිස්ථාන රජයේ තීරණයකට අනුව පකිස්ථාන කණ්ඩායම එම තරගය වර්ජනය කරන බව පකිස්ථාන නායක සල්මන් අලි අගා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී යළිත් තහවුරු කළේය. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙම තරගය දෙස බලාපොරොත්තු සහගතව සිටින බැවින් එම වර්ජනය කිරීමේ තීරණය නැවත සලකා බලන ලෙසයි.














