අනෙකුත් ක්ෂීරපායීන් සහ විශේෂයෙන්ම ගෝරිල්ලන් හා චිම්පන්සියන් වැනි මානවයාට සමීප සත්ත්ව විශේෂ සමඟ සැසඳීමේදී, මානව පුරුෂ ලිංගය සාපේක්ෂව දිගින් හා මහතින් වැඩි වීමට බලපෑ පරිණාමීය හේතු පිළිබඳව “PLOS Biology” සඟරාවේ පළ වූ නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් කරුණු හෙළි කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහ බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මානව පුරුෂ ලිංගය මෙලෙස පරිණාමය වී ඇත්තේ මූලික වශයෙන් ලිංගික ආකර්ෂණය වැඩි කර ගැනීමට සහ ප්‍රතිවාදී පිරිමින්ට අනතුරු ඇඟවීම යන අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා බවයි.
පුද්ගලයන් 800කට අධික පිරිසක් යොදාගෙන සිදු කළ මෙම පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ උස සහ හැඩැති සිරුර මෙන්ම සාපේක්ෂව විශාල පුරුෂ ලිංගයක් සහිත පිරිමින් කෙරෙහි කාන්තාවන් වැඩි ලිංගික ආකර්ෂණයක් දක්වන බවයි. මෙය ඇඳුම් පැළඳුම් භාවිතයට පෙර යුගයේදී ස්වාභාවික වරණය යටතේ කාන්තා කැමැත්ත මත සිදුවූ පරිණාමීය වෙනසක් ලෙස හඳුනාගෙන ඇත.
එසේම පිරිමින් තම ප්‍රතිවාදීන් තක්සේරු කිරීමේදී ද මෙම අවයවයේ ප්‍රමාණය සැලකිල්ලට ගන්නා අතර, විශාල පුරුෂ ලිංගයක් සහිත පිරිමින් ලිංගික වශයෙන් ප්‍රබල තරඟකරුවන් සහ සටන්කාමීත්වයෙන් වැඩි පිරිසක් ලෙස අනෙකුත් පිරිමින් විසින් උපකල්පනය කරනු ලබන බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පිරිමින් සාමාන්‍යයෙන් සිතන්නේ විශාල ලිංගික අවයව කාන්තාවන් කෙරෙහි ඉතා ඉහළ ආකර්ෂණයක් ඇති කරන බව වුවද, පර්යේෂණයෙන් හෙළි වූයේ කාන්තාවන්ගේ කැමැත්ත යම් ප්‍රමාණයකින් පසු ස්ථාවර වන බවයි. සංස්කෘතික හා ජාතිකත්වය අනුව අලංකාරය පිළිබඳ මිනුම්දඬු වෙනස් වුවද, මෙම මූලික පරිණාමීය ලක්ෂණ පොදුවේ මානව වර්ගයාට අදාළ වන බව විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.












