සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා තනතුරු දරන පොලිස් නිලධාරීන් රැසක්ම මේ සති අන්තයට පෙර ස්ථාන මාරු කර යැවීමට නියමිතය.
මෙලෙස මාරු කර යැවෙන පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති අතර ඒ පිළිබඳ තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනිද්දා (20 වැනිදා) ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථානයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
විවිධ චෝදනා එල්ල වන නිලධාරීන්, වසර තුනකට අධික කාලයක් එම ප්‍රදේශයක් බාරව කටයුතු කරන නිලධාරීන් සේම අකාර්යක්ෂම නිලධාරීන් රැසක්ම මාරුවීම් ලැබීමට නියමිතය.
මෙම මාරුවීම්වලට අනුව විශේෂයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ඉහළම තනතුර සඳහාත් නව නිලධාරීන් දෙදෙනකු පත්වීමට නියමිතව ඇත.
මෙම නිලධාරීන්ගේ ස්ථානමාරුවලින් අනතුරුව පොලිස් ස්ථානාධිපති තනතුරු රැසක්ද මාරු කිරීමට අවධානය යොමුව ඇත.