2019 වසරේදී පොලිස් නිලධාරීන් 704 දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර අයුතු ලෙස අවහිර කළ බවට චෝදනා ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති වික්‍රමාරච්චිගේ තිලකරත්න මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (09) නියෝග කළේය. නාරාහේන්පිට මධ්‍යම අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් විය.
පොලිසිය අධිකරණයට දන්වා සිටියේ 2025 වසරේ ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී, මෙම නිලධාරීන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට පෙන්වා දුන්නේ එවකට සිටි පොලිස්පතිවරයාගේ වාචික නියෝගයක් මත අදාළ ලේඛනය සකස් කළ බවත්, එය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බවත්ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට තීරණය කළේය.














