බගවන්තලාව පොලිස් ස්ථානයේ නිල නිවාස (බැරැක්ක) පරිශ්‍රය තුළදී අද (07) අළුයම සිදුවූ දරුණු ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ එම පොලිස් ස්ථානයටම අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු විසින් බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව තොරතුරු දක්වන හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේ අධික ලෙස බීමත්ව සිටි බව කියන මෙම නිලධාරීන් දෙදෙනා අතර ඊයේ (06) රාත්‍රියේ පොලිස් ස්ථානය තුළදී බහින්බස් වීමක් සිදුව ඇති බවයි. පසුව ඉන් එක් කොස්තාපල්වරයෙකු බැරැක්කයේ නිදාගෙන සිටින අවස්ථාවක අනෙක් නිලධාරියා පැමිණ තියුණු ආයුධයකින් ඔහුගේ උදර ප්‍රදේශයට ඇන බරපතළ තුවාල සිදු කර ඇත. සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.














