බත් පාර්සලයක් ඇතුළු ජනප්‍රිය කෙටි කෑම වර්ග පහක් සඳහා පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉකුත් 16 වැනිදා එම අධිකාරියේ වැඩබලන සභාපතිනී සමන්තා කරුණාතිලක මහත්මිය හමු වූ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මෙම ලිඛිත යෝජනාව බාර දී ඇත.
ආපනශාලා හිමියන්ගේ සංගමය යෝජනා කරන්නේ මාළු රෝල්ස්, බිත්තර රෝල්ස් සහ චිකන් රොටියක් රුපියල් 80කට ද, එළවළු රොටියක් රුපියල් 70කට සහ කට්ලට් එකක් රුපියල් 50කට ද උපරිම මිලක් නියම කළ යුතු බවයි. මීට අමතරව සාමාන්‍ය ආප්පයක් රුපියල් 20ක් සහ බිත්තර ආප්පයක් රුපියල් 60ක් ලෙස මිල නියම කිරීමටත්, එළවළු බත් පාර්සලයක් රුපියල් 220ක්, මාළු බත් රුපියල් 300ක් සහ චිකන් බත් පාර්සලයක් රුපියල් 350ක් ලෙසත් පාලන මිලක් පැනවීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දැනට බොහෝ ආපනශාලා හිමියන් පාරිභෝගිකයා පීඩාවට පත් කරමින් අධික ලාභ ලැබීම බව සභාපතිවරයා පෙන්වා දෙයි. රෝහල් ආපනශාලාවල පවතින සහන මිල රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් සීමා නොවී රෝගීන්ට සහ පැමිණෙන ජනතාවට ද ලබා දිය යුතු බවටත්, පවතින ආහාර පනතේ නීතිමය බාධා තිබේ නම් ඒවා සංශෝධනය කර හෝ මෙම පාලන මිල පැනවීමට රජය මැදිහත් විය යුතු බවටත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














