බදුල්ල නගරයේ පිහිටි ආපනශාලාවක අද (04) දහවල් හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේදී ආපනශාලාවේ ඉහළ මහලේ රැඳී සිටි මෙම සේවකයන්, ගින්නෙන් පිටවූ අධික දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවන්ට ලක්ව ඇති බව බදුල්ල පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝහල් ගතකළ සේවකයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගිනි නිවන රථ සහ ජල බවුසර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට සමත් විය. ගින්න අසල පිහිටි අනෙකුත් වෙළෙඳසැල් වෙත පැතිර යාමට ඉඩ නොදී කඩිනමින් නිවා දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් හෝ ගෑස් කාන්දුවක් නිසා මෙය සිදුවූයේද යන්න පිළිබඳව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














