ඉන්දියාවේ සෙමග්ලුටයිඩ් (Semaglutide) ඖෂධය සඳහා වන පේටන්ට් බලපත්‍රය එළඹෙන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව ඇති අතර එය ලොව පුරා තරබාරුකමට එරෙහිව සිදු කෙරෙන සෞඛ්‍ය විප්ලවයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පවතින ඔසෙම්පික් (Ozempic) වැනි ඖෂධවල ඉහළ මිල ගණන් ඉන්දීය ඖෂධ සමාගම් විසින් හඳුන්වා දීමට නියමිත සාමාන්‍ය (Generic) අනුවාදයන් හේතුවෙන් 90% කින් පමණ පහළ යනු ඇති බවත් ඒ හරහා මසකට වැය වන පිරිවැය ඇමෙරිකානු ඩොලර් 40ක් තරම් අවම මට්ටමකට පැමිණෙනු ඇති බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලොව ඖෂධහල ලෙස සැලකෙන ඉන්දියාව මීට දශක කිහිපයකට පෙර HIV ඖෂධ ලොවටම අඩු මිලට ලබා දුන් පරිදිම තරබාරුකම සහ දියවැඩියාව පාලනය කරන මෙම ඖෂධ ද ජාත්‍යන්තර වෙළඳපොළට දැවැන්ත ලෙස මුදා හැරීමට මේ වන විටත් සූදානම් වී සිටී. Dr. Reddy’s සහ Cipla ඇතුළු ඉන්දීය සමාගම් රැසක් මේ සඳහා ඩොලර් මිලියන ගණනක ආයෝජන සිදු කරමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති අතර මෙමඟින් 2050 වන විට මිලියන 450ක් පමණ වනු ඇතැයි අනුමාන කෙරෙන ඉන්දියාවේ අධික බර සහිත ජනගහනයට සහනයක් සැලසීම මූලික ඉලක්කය වී තිබේ. කෙසේ වෙතත් මෙම එන්නත් මංගල උත්සව හෝ සාද සඳහා කඩිනමින් බර අඩු කරගැනීමේ ආලේපන මෙවලමක් ලෙස අවභාවිත නොකළ යුතු බවටත් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු බවටත් විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි.














