ත්‍රිකුණාමලය මහාධිකරණය මගින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමකට සහ තවත් පුද්ගලයින් හය දෙනෙකුට අද (11) ඇප නියම කරන ලදී. එක් අයෙකුට රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම නිදහස හිමිවිය.
මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා විසින් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සැකකරුවන් වෙත දැඩි කොන්දේසි පනවා තිබේ. සාක්ෂිවලට බාධා නොකිරීම, නඩු වාරවලට අනිවාර්යයෙන්ම පෙනී සිටීම සහ ආගමික හෝ පොදු කටයුතුවලට බාධා නොකිරීම එම කොන්දේසි අතර වේ. මෙම කොන්දේසි කඩකරන ඕනෑම සැකකරුවෙකුගේ ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද විනිසුරුවරයා අනතුරු ඇඟවීය.














