පාර්ලිමේන්තුව අද (10) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර අද දිනයේ ප්‍රධාන අවධානය යොමුවන්නේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව කෙරෙහි ය. අද දින පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ නියමිත පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනුවෙන් වෙන් කර තිබේ. ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රශ්න සඳහා කාලය ලබා දී ඇති අතර පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සඳහා වෙන් කර ඇත.
නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු ආනයනය කිරීම සහ ප්‍රමාණවත් ගල්අඟුරු තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත පදනම්ව විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ. අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් විපක්ෂය ගෙන ආ මෙම යෝජනාව පිළිබඳ විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ද පැවැත්වීමට නියමිතව ඇත.














