සිය පස් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් 34 හැවිරිදි පියෙකු මෝදර, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු දැරියට පහරදෙන ආකාරය ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, එම දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට බාධා කිරීම හේතුවෙන් ඔහුගේ මව ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පහරකෑමට ලක්වූ දැරියගේ මව මීට වසරකට පෙර විදේශගතවී ඇති බවත්, ඇය එහිදී සිදුකළ යම් සිදුවීමකට පළිගැනීමක් ලෙස සැකකරු මෙම පහරදීම සිදු කර ඇති බවත්ය. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන මෙම සැකකරු, මීට දින 5කට පෙර හිසෙහි සැත්කමකට ද භාජනය කර සිටි සිය දියණියට මෙලෙස අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා තිබේ. දැරිය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.














