වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන කුරුණැගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (21) නියෝග කර තිබේ.
කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ වූ හිමි නම පිළිබඳව මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.
මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක අදාල භික්ෂුව පොලිසියේ රාජකාරියට බාධා කරමින් මත්පැන් ජාවාරම් කරු වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලි ව දක්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩි දුර විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
රිමාන්ඩ් කරනු ලැබ ඇත්තේ වාරියපොල පොතුවැව ලිපිනයේ පදිංචි මත්පැන් ජාවාරම්කරුවෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ සම්බන්ධව (21) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා නීති විරෝධී මත්පැන් වැටලීමේ රාජකාරිය සිදු කිරීම් සම්බන්ධයෙන් උරණ වූ එම මත්පැන් ජාවාරම්කරු ඉකුත් 19 වැනිදා තමන්ගේ මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස දුරකතන ඇමැතුම් ලබා දී තර්ජනය කර තිබේ.
එමෙන්ම ප්‍රදේශයේ හිමි නමක්ද ඊට මැදිහත්වී එම අත්අඩංගුවට ගැනීම් වහාම නවත්වන ලෙසත් තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්ෂකවරයා වාරියපොල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර තිබිණි. ඒ පිළිබඳව පහරකෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා සටහන් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරුව පොලිස් පරීක්ෂවරයා පසු ගිය 20 වනදා වෙනත් රාජකාරියකට ගොස් යළි පොලිසියට පැමිණෙද්දි ඔහුගේ පසුපසින් පැමිණි ජාවාරම්කරු , හිමි නම ඇතුළු පිරිසද පොලිසියට පැමිණ පොලිස් පරිශ්‍රය තුලදීම එම නිලධාරියාට පහරදීමක් සිදු කර තිබේ.
එම අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයාගේ හිස බිත්තියේ වැදී ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා මෙල්ල කරගැනීමටද පොලිස් පරීක්ෂකවරයා සමත්ව ඇත. පොලිස් පරීක්ෂකවරයා මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.