මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ (මදිටියාවල සහ කුරුණෑගල අතර) වන්දි ගෙවීම් සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ ගැටලු විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් කපිල සී. පෙරේරා මහතා අද (10) අමාත්‍යාංශයේදී ප්‍රදේශවාසීන්ගේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළේය.
මෙහිදී අනාවරණය වූයේ අදාළ මාර්ග කොටස ඉදිකිරීමේදී නිවාස 152ක් සඳහා කිසිදු වන්දියක් ලැබී නොමැති බවත්, තවත් නිවාස 254ක් සඳහා ප්‍රමාණවත් නොවන වන්දි මුදල් විනිවිදභාවයකින් තොරව ගෙවා ඇති බවත්ය. මීට පෙර පත් කරන ලද කමිටු වාර්තා නිලධාරීන් විසින් යටපත් කර ඇති බවටද ප්‍රදේශවාසීන් මෙහිදී චෝදනා කළහ. ඒ අනුව, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ සාකච්ඡා කර මෙම නව ස්වාධීන කමිටුව පත් කිරීමට ලේකම්වරයා එකඟ විය. මීට අමතරව, නිවාස 80ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මගින් පරීක්ෂා කර වන්දි ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණි.














