පෙබරවාරි 06 – පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන වාචික හිංසනයන් සහ අපහාසාත්මක ප්‍රකාශ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (05) භාර දුන් මෙම ඉල්ලීමට සංසදයේ සභාපති සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියන් රැසක් අත්සන් තබා ඇත.
වැඩිම කාන්තා නියෝජනයක් සහිත මෙරට 10 වන පාර්ලිමේන්තුව තුළ, මන්ත්‍රීවරියන්ට තම රාජකාරි නිදහසේ ඉටු කිරීමට ඇති බාධා ඉවත් කිරීම මෙම යෝජනාවේ අරමුණයි. මෑත කාලීනව මන්ත්‍රීවරියන් ඉලක්ක කර ගනිමින් වාචික හිංසනයන් සිදු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එය කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වයට ඍණාත්මක බලපෑමක් එල්ල කරන බවත් සංසදය පෙන්වා දෙයි. ස්ථාවර නියෝග යටතේ පවතින “පාර්ලිමේන්තුව තුළ විනය” යන කොටස යටතේ නව නියෝගයක් ඇතුළත් කිරීම මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව ඔවුන්ගේ යෝජනාවයි. මෙය හුදෙක් පුද්ගලික අපහාසයක් නොව ජනතා පරමාධිපත්‍යයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහි අභියෝගයක් බව ද මන්ත්‍රීවරියන්ගේ සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.














