2022 මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද පෙරවරුවේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබූ අතර, දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. මීට පෙර ජනවාරි 14 වනදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ මෙම තීන්දුව, අධිකරණයේ තීරණය පරිදි අද දින දක්වා කල් තැබිණි. 2022 වසරේ මැයි මස මුළු රටම ගිනියම් වූ අරගලකාරී වාතාවරණය මධ්‍යයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූහ.













