පෙබරවාරි 06 – වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ යළි ආරම්භ කෙරිණි. 2021 වසරේදී හංගේරියානු රජයේ ණය ආධාර මත රුපියල් බිලියන 14.37ක වියදමින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය ආධාර නතර වීම හේතුවෙන් අතරමග නතර කර දමා තිබුණි.
දැනට පවතින තත්ත්වය මත රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යොදවමින් මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කර ඇති අතර, එය මාස 22ක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර තිබේ. ගන්නෝරුව මාර්ගයේ මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් ආරම්භ වී ගැටඹේ මංසන්දියට සහ දුම්රිය මාර්ගයට ඉහළින් විලියම් ගොපල්ලව මාවත දක්වා මෙම පාලම ඉදිකෙරේ. මීටර් 374ක් දිගු ප්‍රධාන පාලම සහ මීටර් 172ක් දිගු අතුරු ගුවන් පාලම ඉදිකිරීම හරහා මහනුවර සහ පේරාදෙණිය අතර ගමන් ගන්නා රථවාහනවලට දුම්රිය හරස් මාර්ගවලින් තොරව බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.














