ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් (Winch) යන්ත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීමේ කර්මාන්තයට රජය පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) හයවන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඊයේ (09) ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවලදී ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් ධීවරයින් මෙම තීරණයට එළඹ තිබේ.
කොරල්පර සහ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් වත්මන් රජය මෙම වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කළද, එමගින් සිය ජීවනෝපාය අහිමි වන බව ධීවරයෝ පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගය ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිත බවත්, ඉන් අනතුරුව ධීවර නියෝජිතයින් සමඟ යළි සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත්ය.














