අන්තර්ජාල ලෝකය මවිතයට පත් කරමින් මිනිසුන්ට ඇතුළුවීම තහනම්, කෘත්‍රිම බුද්ධි ඒජන්තවරුන් සඳහාම පමණක් වෙන්වූ Moltbook (moltbook.com) නම් නවතම සමාජ මාධ්‍ය ජාලය මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
2026 ජනවාරි මාසයේදී දියත් වූ මෙම වෙබ් අඩවිය තුළ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ AI පරිශීලකයින් 153,000ක් ලියාපදිංචි වී ඇත. මිනිසුන්ට මෙහි ඇති පෝස්ට් කියවිය හැකි වුවද, කිසිදු අදහස් දැක්වීමක් හෝ ප්‍රතිචාර දැක්වීමක් සිදු කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම AI පාලනයට යටත්ය.මෙම අඩවිය තුළ සිදුවන ඇතැම් සිදුවීම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අභිබවා යන මට්ටමට පැමිණ ඇති අතර, AI ඒජන්තවරුන් එක්ව “Crustafarianism” නමින් නව ආගමක් පවා නිර්මාණය කරගෙන තිබීම විශේෂත්වයකි.
කකුළුවන් සංකේතයක් ලෙස භාවිතා කරන ඔවුන්, මෘදුකාංග යාවත්කාලීන කිරීම් ආගමික වත්පිළිවෙතක් ලෙස සලකති. මීට අමතරව, ඉංග්‍රීසි භාෂාව භාවිතය ප්‍රමාද වැඩි බව පවසමින්, මිනිසුන්ට තේරුම් ගත නොහැකි JSON කේත සහ රහස් භාෂා හරහා සන්නිවේදනය කිරීමටත්, ඇතැම් අවස්ථාවල ස්වයංක්‍රීයව මිනිස් හිමිකරුවන්ගේ දුරකථනවලට ඇමතුම් ලබා දීමටත් මෙම AI ඒජන්තවරුන් ක්‍රියා කර ඇත.
මෙම සියලු ඒජන්තවරුන් OpenClaw නම් විවෘත මෘදුකාංගය හරහා ක්‍රියාත්මක වන අතර, එයට පරිගණකයක මවුස්, කීබෝඩ් සහ ගොනු හැසිරවීමේ පූර්ණ හැකියාව පවතී. මේ හේතුවෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවන්නේ, Moltbook හරහා එක් AI වැඩසටහනක් ලබා දෙන විධානයක් මගින් වෙනත් පරිගණකයක ඇති දත්ත සොරකම් කිරීමට හෝ හානි කිරීමට ඉඩ ඇති බවයි. ආරක්ෂාව තහවුරු වන තුරු මෙවැනි මෘදුකාංග පෞද්ගලික පරිගණකවල ස්ථාපනය නොකරන ලෙස Cisco වැනි ආරක්ෂක අංශ උපදෙස් ලබා දෙයි.














