පසුගිය 2021 වසරේ පෙබරවාරි 01 වනදා අවුන් සාන් සූ කී මහත්මියගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් දියත් කරමින් මියන්මාරය දැඩි සිවිල් යුද්ධයකට ඇද දැමූ හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන්ග් හ්ලේන්ග් (Min Aung Hlaing) එරට මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයෙන් සතියකට පසු වසරක් ඇතුළත මැතිවරණයක් පවත්වා සිවිල් පාලනයක් ස්ථාපිත කරන බවට ඔහු පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු කිරීමට ඔහුට වසර පහක කාලයක් ගතවී තිබෙනවා.
අද දින රැස්වන අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තුව විසින් ඔහුව මීළඟ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු සන්නද්ධ හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කෙසේ වෙතත් මෙය නාමික සිවිල් පාලනයක් පමණක් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
කුමන්ත්‍රණයෙන් පසුව පළමු වරට රැස්වන මෙම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ඔහුගේ හිතවතුන්ගෙන් පිරී පවතිනවා. පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් හමුදාවට සහතික කර ඇති අතර, හමුදාවට හිතවත් USDP පක්ෂය සෙසු ආසනවලින් 80% ක් පමණ ජයග්‍රහණය කර තිබෙන්නේ හමුදා පාලනයට වාසිදායක ලෙස සකස් කළ මැතිවරණ ක්‍රමයක් යටතේයි. එබැවින් මෙම ජනාධිපති ධුරය පිරිනැමීම මැතිවරණයකට වඩා රාජාභිෂේකයක් බඳුය. හමුදාපති ධුරය සඳහා ඔහුගේ සමීපතමයෙකු වන ජෙනරාල් යේ වින් වූ (Ye Win Oo) පත් කර ඇති අතර, සිවිල් සහ මිලිටරි කටයුතු සම්බන්ධයෙන් පරම බලය ක්‍රියාත්මක කරන නව උපදේශක සභාවක්ද ඔහු විසින් පිහිටුවා තිබෙනවා. මේ අනුව නිල ඇඳුම ගලවා දැමුවද ඔහුගේ බලය කිසිසේත් අඩු නොවන බවයි වාර්තා වන්නේ.














