ශ්‍රී ලංකාවේ උපත ලබන සෑම බිළිඳුන් 1,000 දෙනෙකුගෙන් 6 දෙනෙකුගේම හෘද වස්තුවේ යම් වෙනස්වීමක් හෙවත් හෘද රෝග අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලිත් ද සිල්වා මහතා පවසයි.
වෛද්‍ය වාර්තාවලට අනුව මෙරට තුළ වසරකට හෘද විකෘතිතා සහිත දරුවන් 800ක් පමණ උපත ලබන අතර, මෙම තත්ත්වයන් නිසි කලට හඳුනාගෙන ශල්‍යකර්ම මගින් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි බව විශේෂඥයන් අවධාරණය කරයි. හෘදයේ කුටීර අතර ප්‍රාචීරය නිසි ලෙස වෙන් නොවීම හෝ හෘද නාළ විකෘති ලෙස පිහිටීම වැනි කරුණු මෙවැනි විකෘතිතා සඳහා මූලික වශයෙන් හේතු වන බව අනාවරණය වී ඇත.
මෙවැනි හෘද රෝග ඇතිවීමට ලේ ඥාතීන් අතර සිදුවන විවාහ, කාන්තාවන් වැඩි වයසට පත්වී දරුවන් බිහි කිරීම සහ දරුවන් අඩු මාසයෙන් උපත ලැබීම වැනි කරුණු ප්‍රධාන වශයෙන් බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. දරුවාට හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම සහ දරුවා නිල් පැහැ වීම ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර එවැනි අවස්ථාවක පමාවකින් තොරව ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කළ යුතුය. හෘද විකෘතිතා සහිත දරුවන් සඳහා සැත්කම් සිදු කරන මෙරට ප්‍රධානතම රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේදී, රෝගීන් පැමිණ සති කිහිපයක් වැනි කෙටි කාලයකදී ශල්‍යකර්ම සිදු කිරීමට මේ වන විට පහසුකම් සලසා ඇත.
ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක වන “ලිට්ල් හාට්” (Little Heart) ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නව ගොඩනැඟිල්ලේ ශල්‍යාගාර හතරක් නිර්මාණය වීමට නියමිතය. එමගින් ඉදිරියේදී මීටත් වඩා වැඩි දරුවන් පිරිසකට සහ වඩාත් කාර්යක්ෂමව ප්‍රතිකාර ලබාදීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කරයි.














