මැදපෙරදිග යුද්ධය පවතින කලාපයන් හරහා පියාසර කිරීමට ආරක්ෂක හේතූන් මත අකමැත්ත පළ කරන ගුවන් නියමුවන්ට, වැටුප් කප්පාදු කිරීම් හෝ රැකියාවෙන් ඉවත් කිරීම් වැනි දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියක් පවතින බව ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගේ සංගම් සම්මේලනය (IFALPA) පවසයි. ලෙබනනයේ සිට ඉන්දියාව දක්වා වූ ගුවන් නියමුවන් මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගුවන් කලාපයන් ක්ෂණිකව වසා දැමීමට සිදුවන අනපේක්ෂිත තත්ත්වයන් යටතේ පියාසර කිරීම අනතුරුදායක බව නියමුවන් පෙන්වා දෙයි. යුරෝපීය ගුවන් සමාගම් ගල්ෆ් කලාපයේ පියාසර කිරීම තාවකාලිකව නවතා දමා ඇතත්, එම කලාපයේම පිහිටි ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් සමාගම් තවදුරටත් සිය මෙහෙයුම් සිදුකරයි.
එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුද කලාප ආශ්‍රිතව සේවය කරන ගුවන් නිලධාරීන් දැඩි මානසික ආතතියකට සහ තෙහෙට්ටුවකට පත්ව සිටින බවයි. ඇතැම් නියමුවන් පවසන්නේ ගුවන් තොටුපළට ගොඩබැසීමෙන් පසු සිය නිවසට යන මාර්ග පවා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වී ඇති බවත්, එමගින් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව ද බරපතල තර්ජනයට ලක්ව ඇති බවත්ය.














