පසුගියදා පැවති පැය 48ක සංකේත වැඩ වර්ජනය අවසන් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් අද (26) පෙරවරු 8.00 සිට නැවතත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රෝහල් පද්ධතියේ පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ගැටලුව, වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන නොකිරීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් පිහිටුවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ වෛද්‍යවරුන් සේවා මුර සඳහා වාර්තා කළද, රෝහලෙන් බැහැරව ඖෂධ මිලදී ගැනීමට හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට රෝගීන්ට නිර්දේශ නිකුත් නොකිරීම ඇතුළු විශේෂිත සේවා පහකින් ඉවත් වී සිටියි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කළේ රජය තවමත් අවම බලයවත් භාවිත කර නොමැති බවත්, වෛද්‍යවරුන් මානුෂීය ලෙස සිතා රෝගී සත්කාරක සේවාවලට එක්විය යුතු බවත්ය. කෙසේ වෙතත්, එළඹෙන 28 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී වර්ජනය තවදුරටත් දැඩි කරනවාද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.














