රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට තීරණය කිරීමත් සමඟ දිවයින පුරා රෝහල්වලට පැමිණෙන දහස් සංඛ්‍යාත රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙය පූර්ණ වැඩවර්ජනයක් නොවුණද, විශේෂයෙන්ම බාහිර රෝගී අංශවල (OPD) ප්‍රතිකාර ලබාගැනීමට, ඖෂධ ලබාගැනීමට සහ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණෙන වැඩිහිටියන්, දරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් ප්‍රතිකාර නොලබාම ආපසු නිවෙස් බලා යන අයුරු දැකගත හැකිය. සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ නව පියවරක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වෙනත් රෝහල් ආවරණය කිරීමෙන් (cover-up) වැළකී සිටින බවයි. රජය වෙත ලබාදුන් පැය 48ක කාලසීමාව ඉකුත් වූ බැවින් පසුගිය 26 වැනිදා ආරම්භ කළ මෙම අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත්, රෝහල්වල නොමැති ඖෂධ සඳහා පෞද්ගලික ෆාමසිවලින් ලබාගැනීමට වෛද්‍ය නිර්දේශ නිකුත් නොකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවත් වාර්තා වේ.














